Tue06252019

Last updateTue, 18 Jun 2019 8am

Local News

ගස් කැපීමට යොදා ගන්නා සියලු යන්ත්‍ර සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යය කෙරේ

මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කර ගැනීම සදහා එකට එක් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. මැතිවරණ වර්ෂයක් ලෙස දේශපාලනඥයන් සිය මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර රටක් ලෙස මේ වසරේ දී ඉටු කර ගත යුතු අරමුණක් වන්නේ මෙරට ආර්ථික වර්ධන වේගය ඉහල නංවා ගැනීමේ අභියෝගයට මුහුණදීම බව ජනාධිපතිතුමා සදහන් කරයි. එසේ නොවුනහොත් ආර්ථික වශයෙන් ඉතා කණගාටුදායක තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ජනාධිපතිතුමා පවසයි. මැතිවරණ ව්‍යාපාර නිසා කිසිවිටකත් සංවර්ධන සහ මහජන සේවා අඩපණ නොවිය යුතු බවද එතුමා අවධාරණය කරයි. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති විශේෂ හමුවකට එක් වෙමිනි. .
වන ඝණත්වය ඉහල නංවා ගනිමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන ජාතික වැඩසටහන පිළිබදව ද ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. ගස් කැපීමට භාවිත කරන කුඩා ප්‍රමාණයේ චේන්සෝ යන්ත්‍රවල සිට විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දක්වා සියලු යන්ත්‍රවලට අනිවාර්යයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදුජනතා සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාල 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම සදහා මෙම හමුව කැඳවා තිබුණි. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වනවිට සාර්ථකව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් දුගී බව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම වැඩසටහනේ විශේෂත්වයයි. එය තවදුරටත් පුඵල් කිරීමේ අරමුණින් ලබන 18 වැනිදා සිට 24 වැනිදා දක්වා සතිය ග්‍රාම ශක්ති ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අවස්ථාවට එක්වු ඇමති වජිර අබේවර්ධන මහතා ග්‍රාමීය ජනතාව දිළිදු බවින් මුදාගෙන ස්වශක්තියෙන් නගාසිටුවීම සදහා විවිධ රජයන් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි කීවේය. මෙවැනි වැඩසටහන් සාර්ථක කර ගැනීමට නව නීති අවශ්‍ය වේ ඒ සදහා අගමැතිතුමාගේත් රජයේත් අවධානය යොමුවිී ඇතැයි ඔහු පැවසීය