නවතම පුවත්

පොසොන් සමයේ අනුරාධපුරය බලා යන සැදැහැවතුන් වෙනුවෙන් අමතර දුම්රිය සේවා

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුදබිමට යන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා අමතර දුම්රිය ධාවනයට එක්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. ඒ අනුව හෙට අලුයම 3.30 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා විශේෂ දුම්රියක් ගමන් අරඹයි. හෙට අලුයම 5.00 ට මාතරින් ගමන් ආරම්භ කරන සාගරිකා දුම්රියද අනුරාධපුරය බලා ධාවනය වෙයි. එම දුම්රිය පෙරවරු 8.20 ට කොලඹ කොටුව දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතයි. හෙට දහවල් 12.45 ට තවත් විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා ධාවනයට එක්කර තිබේ.
පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුදබිමට පැමිණෙන සැදැහැවතුන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇතැයි අනුරාධපුර දිසාලේකම්වරයා කියයි. පොසොන් පොහොය දිනයේ ජයශ්‍රී මහ බෝසමිදුන් රුවන්මහසෑය. ප්‍රමුඛ අටමස්ථානයේ සැදැහැවතුන් විශාල වශයෙන් පෙහෙවස් සමාදන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මිහින්තලය. තන්තිරිමලේ. ඇතුඵ පුදබිම්වලටද සැදැහැවතුන් විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. දැනටමත් එම පුදබිම්වලට ජනතාව පැමිණෙමින් සිටිති.