නවතම පුවත්

දේශය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට උපහාර

එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමට වසර 9ක් සපිරීම නිමිත්තෙන් පවත්වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේදී පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය අභියස පැවැත්වීමට නියමිතය.

ජාතික රණවිරු සැමරුමට සමගාමීව විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමින් ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පනස් දෙනෙක් පිදුම් ලබති.9 වන රණවිරු සැමරුම් උත්සවය අදට (18) යෙදී තිබේ. තිස්වසරක් පුරා සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ලාංකික ජනතාව පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන ලද්දේ 2009 මැයි මස 18 වෙනිදායි. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානය, බල සේනා මුලස්ථානය, යුද හමුදා පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන, ක්ෂේත‍්‍ර මධ්‍යස්ථාන හා රණවිරු සුබ සාධක මධ්‍යස්ථානයන්හි අද පෙ.ව 9.30 ට දේශය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සැමරීම සිදු කෙරුණි.

ශ‍්‍රී ලංකා යුද හමුදාව රණවිරුවන් සිහිකරමින් පවත්වනු ලබන ආලෝක පූජාව හෙට කැළණිය රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර නාවික, ගුවන් හමුදා මෙන්ම ශ‍්‍රී ලංකා පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද ඊට සහයෝගය දක්වයි. මේ අතර හෙට පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශයන් හි විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව පොල්දුව මංසන්දිය හරහා කියන්නෑම් හංදිය දක්වා ගමන් කරන සියලූම වාහන පොල්දුව මංසන්දියෙන් දකුණට හැරී පන්නිපිටිය කොට්ටාව ප‍්‍රධාන මාර්ගය හරහා ගමන් කළ යුතු බවට පොලීසිය දැනුම් දෙයි. ජපන් මිත‍්‍රත්ව පාර, පාලම් තුන, පාලවත්ත, බදුල්ල හා කිඹුලාඔය මංසන්දි සාමාන්‍ය පරිදි ගමනාගමනයට විවෘත වේ.