Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

නවතම පුවත්

අහිතකර කාළගුණ තත්ත්වයට රජය සූදානම්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය මේ වන විට ලංකාව උඩ පැවතීම නිසා ඒ ආශ‍්‍රිතව වළාකුළු වර්ධනය සීඝ‍්‍රව සිදුවෙයි. තවද නිරිත දිග මෝසම් තත්ත්වයට මේ වන විට ආරම්භ වෙමින් පවතින අතර බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් අතිවීමේ අවදානමක් ද ඇත.


එහි බලපෑම හේතුවෙන් විශේෂයෙන්ම බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත් වලට ඉදිරි දින කිහිපය තුළ (20 තෙක්) සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ද දිවයිනේ සෙසු පළාත්වලට තරමක වර්ෂා ද අපේක්ෂා කෙරෙයි.
ඊයේ (17) දින ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත‍්‍රිකක්යේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර හබරණ - දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ පැල්වල ප‍්‍රදේශයේ ගමනාගමනයට ද බාධා පැමිණ ඇත. තවද කාසල් රේ ජලාශ‍්‍රයේ ජල මට්ටම ඉහළ ගියේද, කලා වැවේ සහ දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීමට සිදු වුයේ ද අධික වර්ෂාව බලපෑම හේතුවෙනි.

මේ අහිතකර තත්ත්ව හේතුවෙන් කැළණි ගඟ, ගිං ගඟ, කළු ගඟ අවට සිටින ජනතාවට ඉතාමත් කල්පනාකාරීව සිටින්න යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර හදිසි අවස්ථාවක දී ක්ෂණිකයෙන් ඉවත් වීම සඳහා ආපදා මල්ල සුදානම් කරගෙන සිටින ලෙස ද වැඩි දුරටත් දැනුම් දෙයි. තවද ඇති විය හැකි අයහපත් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආපදාවට පෙර සුදානමක් වැඩසටහන මෙම මස 21 සිට ලබන මස 02 දක්වා ග‍්‍රාම නිලධාරී වසම් 1413 ක‍්‍රියාත්මක කරන බව වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මේ වැඩසටහන තුළින් ඇළවේලි බෝක්කු සුද්ධ පවිත‍්‍ර කිරීම, අනතුරුදායකව තිබෙන ගස් ඉවත් කිරීම, අවට පරිසරය පිරිසුදු කිරීම ආදී ක‍්‍රියාවන් රැසක් ක‍්‍රියාත්මක වේ.
මේ වන විට ආපදා කළමණාකරන අමාත්‍යාංශය නිරිත දිඟ මෝසමත් සමඟ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සියලූ අංශ දැනුවත් කර ඇත. දැනට භාවිත වන සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77 ක් ද ආපදා තොරතුරු ලබා ගැනීමට සඳහා භාවිත කිරීමට හැකිය.

එමෙන්ම ආපදාවන් පිළිබඳව මාධ්‍යයන් දැනුවත් වු වහාම ආපදා කළමණාකරන මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙසද මාධ්‍යවේදීන්ගෙන් ඇමතිවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියි.
රජයත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයත් සියලූ ජනතාවලෙන් ඉල්ලා සිටිනුයේ ඇතිවන අයහලත් කාළගුණ තත්ත්ව හේතුවෙන් සිහි නුවණින් කටයුතු කිරීම වඩාත් වැදගත් බවය.