නවතම පුවත්

දකුණට ඉන්ෆ්ලූවෙන්සා?

දකුණු පළාතේ උණ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුන්දර මහතා පැවසීය. මෙම උණ රෝගය ඉන්ෆ්ලූවෙන්සා ද යන්න තවමත් නිශ්චිතව හදුනාගෙන නොමැති බව සඳහන් කළ ඒ මහතා මෙම තත්ත්වය වර්ධනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර මේ වන විටත් ක‍්‍රියාත්මක කර ඇති බව ද පැවසීය.

දකුණු පළාත් මායිම් ප‍්‍රාදේශ වන ඇඹිලිපිටිය ආදී ප‍්‍රදේශ වල ද උණ රෝගීන් වාර්තා වන අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ දරුවන් පස් දෙනෙක් මිය යෑම ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වයෙන් සිදුවුවක් ද යන්න තවමත් තහවුරු වී නොමැත.

නිතර කිවිසුම් යෑම, උගුරේ දැඩි වේදනාව, සෙම්ප‍්‍රතික්ෂාව යන රෝග ලක්ෂණ සමඟ උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වන ලෙස ද අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටීම, කිවිසුම් යෑමේ දී මුඛය ආවරණය කර ගැනීම, දෑත් සබන් යොදා සෝදා ගැනීම යන ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.