නවතම පුවත්

ඩෙංගු රෝගය යලි හිස ඔසවයිද?

නිරිත දිග මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ මදුරු ගණත්වය වැඩිවීමෙන් ඩෙංගු රෝගය යලි හිස එසවීමේ අවධානමක් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.


ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය ප‍්‍රශීලා සමරවීර මහත්මිය ප‍්‍රකාශ කලේ 2018 වර්ෂය ආරම්භයේ සිට ඊයේ (17) දිනය තෙක් ඩෙංගු රෝගීන් 18,589 දෙනෙක් සහ ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යතුමිය පසුගිය වර්ෂයට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ අඩු වීමක් දක්නට ලැබෙන නමුත් පසුගිය මාස වලට වඩා මේ මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන හෙයින් මේ වන විට ප‍්‍රාදේශීය සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වලට මහජනතාව දැනුවත් කිරීමටත්, මදුරුවන් බෝ වන ස්ථාන හදුනා ගැනීමට සහ ඒ අවට දුමායන කටයුතු සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද පැවසුවාය.

ඉන්ෆ්ලූවෙන්සා හා සමාන උණ රෝගයක් ගාල්ල ප‍්‍රදේශයේ පැතිර යෑම හා මේ දිනවල පවතින වැසි සහිත කාළගුණය හේතුවෙන් උණ රෝග කිහිපයක් ම පැතිර යන හෙයින් අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ වහාම රජයේ රෝහලක් වෙත ගොස් ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.එමෙන්ම වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වී පසුගිය වසරේ මෙන් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වළක්වා ලීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳව ඩෙංගු මර්දන ඒකකය විසින් සියලූ රජයේ රෝහල් ද දැනුවත් කර තිබේ.