Sri Lanka Brodcasting Corporation

Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

About Us

නිල වශයෙන් ඇරඹි ගුවන්විදුලියේ මුල්වරට 1927 දී එම්. ජී. පෙරේරාගේ නායකත්වයෙන් යුත් සජීවී සිංහල සංගීත වැඩසටහනක් ප්‍රචාරය වී ඇත. බ්‍රිතාන්‍යයේ දෙවන එඩ්වඩ් කුමරා ඇල්බට් හෝල් හි පැවැත්වූ කතාව ලන්ඩනයේ සිට සජීවී ව ලංකා ගුවන්විදුලිය ඔස්සේ විසුරුවා හැරිණි. එම වසරේම දෙසැම්බර් මාසයේදී කොළඹ මධ්‍යම ගුවන්විදුලි සංදේශ ගොඩනැගිල්ලේ පිහිටි ගුවන්විදුලි මධ්‍යස්ථානය ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි පැරණි මානසික රෝහලේ ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදි. දෙවන ලෝක යුද්ධය හේතුවෙන් 1942 සැප්තැම්බර් 03 දින නැවතත් ලංකා ගුවන්විදුලිය කොටා පාරේ පිහිටි බවර් ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් එය තාවකාලිකව ගුවන්විදුලි මධ්‍යස්ථානයක් බවට හැරවීය. දෙවන ලෝක යුද කාලසීමාවෙන් පසු 1949 ඔක්තෝබර් 05 දා සිට නැවතත් ගුවන්විදුලියේ ස්ථීර භූමිය වූයේ නිදහස් චතුරශ්‍රය අබිමුව පිහිටි පුරාණ ගොඩනැගිලි සමූහයකින් සමන්විත භූමියයි.

ප්‍රථම සිංහල ධර්මදේශනාව බම්බලපිටියේ වජිරාරාමාධිපති පැලෑනේ සිරි වජිරඥාණ නායක ස්වාමීන්වහන්සේ විසින් 1928 අප්‍රේල් මාසයේ දී පැවැත්වීම විශේෂ සිදුවීමකි. ලංකා ගුවන්විදුලියේ ප්‍රථම නිවේදකයා වශයෙන් ආර්.ආර්. ඇන්ඩර්සන් මහතා 1940 දී පත් වූ අතර ප්‍රථම ස්ථීර ඉංග්‍රීසි නිවේදක ලෙස ඊ.වයි.ජී. රැන්කින් මහතාත් ප්‍රථම ස්ථීර සිංහල නිවේදකයා ලෙස ඩී.එම්. කොළඹගේ මහතාත් පත්විය. "කොළඹින් කතා කරමි" "මේ කොළඹ ගුවන් විදුලියයි" යනුවෙන් සිංහලෙන් ආමන්ත්‍රණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය.

ලංකා ගුවන්විදුලි සේවය වෙනමම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත වන්නේ 1949 ඔක්තෝබර් 05 දිනයි. එය තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කෙරිණි. ගුවන්විදුලි මධ්‍යස්ථානය ටොරින්ටන් චතුරශ්‍රයේ නව ගොඩනැගිල්ලේ පිහිටුවන ලද අතර එහි ප්‍රථම ගුවන්විදුලි අධ්‍යක්ෂ වශයෙන් පත්වූයේ එක්සත් රාජධානියේ ජෝන් ලැම්ප්සන් මහතායි. ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගුවන්විදුලියේ නිවේදකයකු වශයෙන් රැකියාව අරඹා ඇත. ගුවන්විදුලි ප්‍රතිසංවිධාන සැලැස්මක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ ලැම්ප්සන් මහතා වෙළඳ ගුවන්විදුලිය ඇරඹීමට ද මුල් විය. ඔහු ඉදිරිපත් කළ ප්‍රතිසංවිධාන යෝජනා 1950 දී රජය පිළිගෙන ඇත. එම යෝජනාවලට අනුව භාෂා තුනෙන්ම ප්‍රචාරය වන වැඩසටහන් භාරව කටයුතු කිරීමට ප්‍රථම වරට සංවිධායකවරු තිදෙනෙක් පත් කරනු ලැබූහ. ඩී.ටී.එල්. ගුරුගේ මහතා සිංහල වැඩසටහන් භාරව කටයුතු කළ අතර ඉංග්‍රීසි වැඩසටහන් සංවිධායක ලෙස එල්.ආර්. විෙජ්මාන්න මහතා පත් කෙරිණි. දෙමළ වැඩසටහන් සංවිධායිකා ලෙස ඒ.එම්.ජෝශප් මහත්මිය ද පත් කෙරිණි. වෙනම වැඩසටහන් සම්පාදකවරුන් ඒ ඒ අංශ සඳහා පත් කිරීමට ද සිදු විය. භාෂා තුනෙන් වැඩසටහන් එකවර විකාශන තුනක් ඔස්සේ ප්‍රචාරය කිරීම මුල් වරට සිදු වූයේ ද ලැම්ප්සන් මහතාගේ යෝජනා අනුවය. එයට අමතරව එම වසරේදීම මුදල් අය කර දැන්වීම් ප්‍රචාරය කිරීමේ අරමුණ ඇතිව වෙළඳ සේවයක් ද ආරම්භ කිරීම මොහුගේ සේවා කාලයේදී සිදුවූ විශේෂ වර්ධනයකි. ක්ලිෆර්ඩ් ආර්. ඩොඩ් මහතා එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

වෙළඳ සේවය හා ස්වදේශීය සේවය වශයෙන් කොටස් දෙකකට ගුවන්විදුලි ප්‍රචාර ප්‍රථම වරට ආරම්භ වන්නේ 1950 දී ය. විකාශන සේවා පුළුල් වීමත් සමග නව බඳවාගැනීම් ද මෙම කාලයේදී සිදු විය. ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ ප්‍රථම සිංහල නිවේදිකාව ලෙස ප්‍රභා පෙරේරා මෙනෙවිය (පසුව රණතුංග) එක්වූයේ ද මෙම කාලයේදීය. 
ලැම්ප්සන් මහතා සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුව එම තනතුරට ප්‍රථම ශ්‍රී ලාංකිකයකු පත්වූයේ 1951 දී ය. ඒ අනුව එම්.ජේ. පෙරේරා මහතා ගුවන්විදුලියට පැමිණුනි. මේ කාලයේදී Voice of America නම් ප්‍රතිවිකාශන මධ්‍යස්ථානය සීදුවේ ඇරඹීමට ගිවිසුම් අත්සන් තබන ලදි. 1952 ඔක්තෝබර් මස එඩ්වින් සමරදිවාකර මහතාගේ නායකත්වයෙන් ස්ථීර වාදක මණ්ඩලයක් පත් කිරීම ඔහුගේ කාලයේ වැදගත් සිදුවීමකි. සිංහල වාදක මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත විය. දෙමළ වාදක මණ්ඩලයක් ද පත් කරන ලද්දේ මීට සමගාමීවයි. සමරදිවාකර මහතාගේ අභාවයෙන් පසු ඩබ්.ඩී. අමරදේව මහතා එම තනතුරට පත් විය.

1954 අප්‍රේල් මාසයේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වූ දෙවන එලිසඛෙත් මහ රැජිණ ලංකාවේ සංචාරයක නිරත විය. එතුමිය බ්‍රිතාන්‍යයේ මහ රැජිණ ලෙස කිරුළ පැළඳීමෙන් පසු ආසියානු රටක සිදු කළ පළමු සංචාරය මෙයයි. මෙම සංචාරයේ දී එතුමිය ලංකා ගුවන්විදුලිය ඔස්සේ ලංකාවාසී ජනතාව ඇමතුවාය. රැජිණ ලංකාවේ සංචාරය කළ ස්ථානවලට තැටිගත කිරීමේ යන්ත්‍ර සහිත රථය ගෙන ගොස් ලංකා ගුවන්විදුලිය වැදගත් කථා සියල්ල තැටිගත කළේය. ගුවන්විදුලි ප්‍රවෘත්ති ලබා ගැනීමට ඉන්දියාවේ "ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා" (Press Trust of India) සමග ගිවිසුමකට එළඹීම 1954 දී සිදු විය. තවත් සුවිශේෂ අංගයක් ලෙස ප්‍රථම වරට ශ්‍රවණ පර්යේෂණ ඒකකයක් 1956 දී පිහිටුවන ලදි. 1954 දියගම මධ්‍යම තරංග විකාශනාගාරය පිහිටුවන ලද අතර 1962 අගෝස්තු මාසයේදී ප්‍රවෘත්ති අංශය අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ වෙනම අංශයක් බවට පත්විය.

1962 අගෝස්තුවේදී ගුවන්විදුලි දෙපාර්තමේන්තුව හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කෙරිණි. ඉන්පසු 1965 ජූලි මාසයේදී කොමිෂන් සභා වාර්තාවට පැවරුණු වගකීමට අනුව ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත්විය යුතු බව ප්‍රධානතම නිර්දේශය විය. 1966 නොවැම්බර් 15 වන දින අංක 37 දරන ලංකා ගුවන්විදුලි සංස්ථා ආඥා පනත පාර්ලිමේන්තුවේ සම්මත විය. එය ක්‍රියාවට නංවමින් 1967 ජනවාරි 02 දින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකින් "ලංකා ගුවන්විදුලි සංස්ථාව" නමින් නව ආයතනයක් නිල වශයෙන් ජනවාරි 05 දින සිට පිහිටුවන බව දැනුම් දුනි. එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1967 ජනවාරි 05 දින නිල වශයෙන් "ලංකා ගුවන්විදුලි සංස්ථාව" ස්ථාපනය කෙරිණි. එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කෙරුණේ 1966 සිට අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සේවය කරමින් සිටි නෙවිල් ඩී ජයවීර මහතාය. පරිපාලන සේවයේ විවිධ තනතුරු දැරූ මොහු තරුණ නිෂ්පාදකවරුන් හා කාර්මික නිලධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භ කලේය. සංගීත පර්යේෂණ අංශයක් ද පිහිටුවීය. ලංකා ගුවන්විදුලියේ ඉංජිනේරු තනතුරකට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස සුමිත්‍රා සේනානායක මෙනෙවිය සේවයට එක්වූයේ ද 1967 වර්ෂයේ දී ය. 1969 දී ඇය ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරිය ද වූවාය. ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනය 1968 දී පිහිටුවන ලදි. බ්‍රිතාන්‍ය විදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ආධාර ඇතිව ඉදිකෙරුණු මෙහි ප්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික ස්ටුවර්ට් වේවල් මහතා ය.

ගුවන්විදුලි මාධ්‍ය ජාතික සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙල නෙවිල් ජයවීර මහතාගේ පාලනය යටතේ ක්‍රියාත්මක විය. මේ යටතේ දේශීය ප්‍රවෘත්තිවලට වැඩි ප්‍රමුඛතාවක් ලබාදුන් අතර, ප්‍රවෘත්ති ප්‍රකාශවල වැඩි වැඩියෙන් ගම්බද ප්‍රවෘත්ති ද ඇතුළත් විය. මුල් වරට 1969 අප්‍රේල් 13 වන දින සිට පැයෙන් පැයට "ප්‍රවෘත්ති ලූහුඬින්" ප්‍රකාශ කිරීම අරඹා ගුවන්විදුලිය ලාංකීය ජනතාවට සමීප කරවූ අතර, ඓතිහාසික අවස්ථාවක් වූ 1969 ජූලි 20 දින "මිනිසා සඳ මත පා තැබීම" පිළිබඳ විස්තර ප්‍රචාරය ඉංග්‍රීසි හා සිංහල බසින් සියලූම සේවා ඔස්සේ ප්‍රචාරය කිරීම සුවිශේෂ සිදුවීමකි. 

Contact Us

Sinhala National Service Office

0112693345

Continuity Studio - C 01

0112682411

E-Mail -     sns.slbcThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.