Sat06242017

Last updateFri, 23 Jun 2017 8pm

Articles

Special Development Project 2016 - 2017

දශක අටකට වැඩි කාලයක් ශී‍්‍ර ලාංකීය ජනහදවත් තුළ ස්වකීය මතක සටහන් තැබූ ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව අදටත් ආසියාවේ දැවැන්තම ශ‍්‍රව්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයයි. එදා මෙදාතුර තාක්‍ෂණයේ විවිධ වර්ධනයන් ආරෝපණය කර ගනිමින් ගුවන්විදුලිය නොසැලී ජන සමාජය තුළ තම මෙහෙවර ඉටු කිරීමට බැඳී සිටී. ගුවන්විදුලියේ මෙවලම් යනු ජීවියෙකුගේ ඉන්ද්‍රීය පද්ධතිය හා සමාන වන ඒකකයකි. ගුවන්විදුලියේ මයික‍්‍රෆෝනයේ සිට නිවසේ ගුවන්විදුලි යන්ත‍්‍රය දක්වා මේ මෙවලම් පද්ධතිය ව්‍යාප්තව පවතී. ප‍්‍රධාන පාලක මැදිරිය, ට‍්‍රානස්මීටර්, සජීවී මැදිරි උපාංග, පටිගත කිරීමේ උපාංග ඇතුළු සුවිශාල යන්ත‍්‍ර සූත‍්‍ර සමූහයක තාක්‍ෂණය හා අත්වැල් බැඳත් ජාතික ගුවන්විදුලිය කෙනෙකුට එක් වරම බලා වටහා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ වූවක්.

මෙම තක්‍ෂණික උපකරණ හා මැදිරි ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ යාවත්කාලීන කිරීම අතිශය වැදගත් වන්නේ අපෙන් රටට දෙන පණිවිඩය වඩාත් තීව‍්‍ර ලෙස ජනතාවගේ සවන්පත් අතරට ගෙන යාමටයි. මේ නිසාම රජය මේ වනවිට මහා භාණ්ඩාගාරය මගින් ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදරි සහ උපකරණ යාවත්කාලීන කිරීම සඳහා 2016 වර්ෂය සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කර තිබේ. එසේ වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 200 කි. එය ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවට සුවිශාල පිටුබලයකි.

මේවා අතරින් සම්බන්ධතා මැදිරිය ඉතා වැදගත් ස්ථානයකි. නිවේදකයා ඍජුවම අසන්නන් ආමන්ත‍්‍රණය කරන ස්ථානය සම්බන්ධතා මැදිරියයි. එහිි මයික‍්‍රෆෝන, යතුරු පුවරු, කන්සෝලය, පරිගණක ආදී මේ සියලූ උපාංග ඉතා යහපත් තත්වයක පැවතීම අතශ්‍යශ්‍ය වේ. එබැවින් මෙවර රුපියල් මිලියන 20 ක මුදලක් සම්බන්ධතා මැදරි යාවත්කාලීන කිරීම සඳහා වෙන්කර තිබේ.

පටිගත කිරීමේ මැදිරි සියල්ලම නවීන ඩිජිටල් තාක්‍ෂණයට හසුකර ගනිමින් වැඩිදියුණු කිරීමට රුපියල් මලියන 20 ක් වෙන්කර තිබේ. ජාතික ගුවන්විදුලියේ පටිගත කිරීමේ අංශය ඉතා සවිමත්ව තිබීම අත්‍යවශ්‍ය කරුණිකි. අපට තිබෙන ඉතා වැදගත් මැදරියක් වන්නේ බහුකාර්ය මැදරියයි. වෙනත් මැදිරිවලට වඩා මෙහි විශේෂත්වය වන්නේ විවිධ කාර්යයන් සඳහා ‘මල්ටි ස්ටුඩියෝ’ හෙවත් බහුකාර්ය මැදිරිය යොදාගත හැකි වීමයි. විශේෂයෙන්ම සංගීත ප‍්‍රසංග සහ පටිගත කිරීම් සඳහා වඩාත්ම උචිත වන්නේ මෙම බහුකාර්ය මැදිරිය වන අතර, එහි අලූත්වැඩියා කිරීම් සඳහා 2016 වර්ෂයට මුදල් ප‍්‍රතිපාදන යටතේ රුපියල් මිලියන හතහමාරක මුදලක් වෙන්කර තිබේ.

21 වන සියවසට පා නගා ඇති මේ යුගයේ තාක්‍ෂණය සමගින් අත්වැල් බැඳගැනීම අපට අවශ්‍යම සාධකයකි. පරිගණකය ඔස්සේ සියල්ල සාක්‍ෂාත් කරගැනීමට ඇති හැකියාවක් තිබෙන යුගයක අප ඒ සඳහා ප‍්‍රවේශවීම ඉතා වැදගත් කරුණකි. ඒ නිසාම පරිගණක මෙහෙයුම් කාර්යාලයක අවශ්‍යතාවය අපට තදින්ම දැනේ. එබැවින් කාර්යාල පරිගණක මිලදී ගැනීම සඳහා මෙවර රුපියල් මිලියන 5 ක් වෙන්කර තිබෙන අතර එය ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වනු නොඅනුමානයි. අප මේ ව්‍යාපෘතිය යටතේ මැදිරි සම්බන්ධතා, මැදිරි පරිගණක කටයුතු සියල්ල යාවත්කාලීන කළත්, නව උපකරණ සවි කිරීමට සිදුවන අවස්තාවන් රාශියකි. විවිධ අවස්ථාවල මැදිරිවල උපාංග කි‍්‍රයා විරහිත වූ විට ඒ සඳහා නව උපාංග යොදා ගැනීමට තිබේ. එබැවින් රුපියල් මිලියනයක මුදලක් උපාංග මිලදී ගැනීම සඳහා ද මෙවර වෙන් කර තිබේ. අපගේ විකාශනාගාර පද්ධතිය ජාතික ගුවන්විදුලියේ තවත් ප‍්‍රධානතම සම්පතකි. කොළඹින් විසුරුවා හරින වැඩසටහන් සියල්ලම ප‍්‍රාදේශීය මට්ටමින් ශ‍්‍රාවකයන් හට සමීප කරවන්නේ ප‍්‍රාදේශීය විකාශනාගාරයයි. ඒ අතර ඉතා දර්ශනීය පරිසරයක පිහිටි අපගේ හපුතලේ විකාශනාගාරය වැදගත් ස්ථානයක් ගනු ලබයි. මෙය යාවත්කාලීන කිරීම යුගයේ අවශ්‍යතාවයකි. එනිසාම රුපියල් මිලියන 100 ක මුදලක් ඒ සඳහා වෙන් කර තිබේ. හපුතලේ විකාශනාගාරය අදට වඩා වැඩි තීව‍්‍රතාවයකින් විකාශන කටයුතු කිරීමට මෙමගින් පිටිවහලක් ලැබෙනු ඇත. එය ගුවන්විදුලියට දැවැන්ත ශක්තියක් ද වේ. අප පුත්තලම විකාශනාගාරය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බැවින් සිවිල් ඉංජිනේරු අංශය මගින් සිදුකරනු ලබන අලූත්වැඩියා කිරීම් සඳහා ද රුපියල් මිලියන 2 ක මුදලක් වෙන්කර තිබේ. ඉතා දුෂ්කර රාජකාරි කටයුතුවල යෙදෙන අපගේ නිිලධාරීන්ගේ චිත්ත ශක්තිය වැඩිදියුණු කිරීමට පුත්තලම විකාශනාගාරය අලූත්වැඩියා කිරීම හේතු වනවාට සැකයක් නැත.

වී.එච්.එෆ් / යූ.එච්.එෆ්. පද්ධතිය ස්ථානගත කිරීම සහ සම්පේ‍්‍රෂණය කිරීම අපට වැදගත් වන්නේ අපගේ විකාශන කටයුතු පුළුල්ව ඒ හරහා සිදුකර ගන්නා බැවිනි. එම පද්ධතිය සම්බන්ධීකරණය කරගැනීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් වෙන්කර තිබේ. එමෙන්ම තාක්‍ෂණයට අදාළ මිනුම් උපකරණ සඳහා රුපියල් මිලියන 6.5 ක් ද වෙන්කර තිබේ. එමෙන්ම වායු සමීකරණ උපකරණ සඳහා රුපියල් මිලියන 15 ක් වෙන්කර ඇත. සම්පේ‍්‍රශනාගාරවල සම්පේ‍්‍රශන යන්ත‍්‍රවල අමතර කොටස් සඳහා රුපියල් මිලියන 4 ක් ද මේ යටතේ වෙන්කර දී තිබේ. අපගේ යටියන්තොට විකාශනාගාරයට ප‍්‍රවේශ වන මාර්ගය අලූත්වැඩියා කිරීමට මෙවර ප‍්‍රතිපාදන මගින් රුපියල් මිලියන දෙකක මුදලක් වෙන්කර තිබේ. 2016 වර්ෂයේ වෙන් වූ මුළු මුදල වන්නේ රුපියල් මිලියන 200 කි. ජාතික ගුවන්විදුලියේ සංවර්ධනය සඳහා මෙවැනි දැවැන්ත මුදලක් වෙන් කිරීම ජාතික ගුවන්විදුලියේ අප සැමගේත් සතුටට කරුණක් වනු ඇත. ජාතික ගුවන්විදුලිය සදා රටේ ජනතාවගේ සම්පතක් සේ දිස්වනු ඇත. ජාතික ගුවන්විදුලිය යනු, අපේ රටේ සමාජ හර පද්ධතියේ ප‍්‍රමුඛතම මාධ්‍ය මධ්‍යස්ථානයයි. ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව රටේ සමස්ත මහජනයාගේ ගුවන්විදුලියයි.